ඇට්ටේරියා මල්
පුංචා ඒක කළේ සෙල්ලමට.
ඒත් අම්මා ඒක තේරුම්ගත්තේ ඕනකමින් කළ දෙයක් හැටියට.
පුංචා අම්ම එක්ක පන්සල් ගිහිං එන ගමං,
අම්මගෙ සාරිපොට තුත්තිරි ගොල්ලක් දිගේ ඇදගෙන ගිහිං.
සෙල්ලම උනත් කරල තියන වැඩේ වැරදියි තමයි.
ඒත් ඒක වැරැද්දක් කියල නොදැන,
අපූරුවට තුත්තිරි
ඇට සාරි පොටේ ඇලෙන හැටි බලලා විනෝද උන එකයි පුංචා කළේ.
අම්මට කේන්ති යාමද පුංචාට විනෝදයක් විය.
"ඇයි අම්මටත් බැරි ඒක
දැකලා විනෝද වෙන්න" පුංචට
සිතුණි.
දඬුවම හැටියට සාරි පොටේ ඇලුණු තුත්තිරි
එකින් එක ගලවමින් සිටි පුංචට, පන්සලේදි
මල් පූජා කරපු හැටි මතක් විය.
පුංචට කිරි කෝප්පෙකුයි තමන්ට තේ
කෝප්පෙකුයි හදාගෙන ඇවිත් පුංචා ගාවින් වාඩි උන අම්මාට,
බැරෑරුම් කල්පනාවක ගිලිලා ඉන්න පුංචා දැකලා හිනා ගියා
ය.
වයස දහයක් වූ පුංචා,
විශාල දෑස් හිමි, තලඑළළු
හමක් ඇති,
තමන්ගේ ම
මනෝ ලෝකයක සැරිසරමින් විනෝදෙන් සිටි දරුවෙකි.
අනේක විද ප්‍රශ්න අසමින්
අත්තම්මා සහ අම්මා
ව අමාරුවේ දැමීමට
ද ඔහු
උපන් හපනෙක් විය.
පුංචගෙ අප්පච්චි යුද්ධයෙන් මියගිය
සොල්දාදුවෙකි.
අම්මාගේ හිනාව ගනනකට නොගෙන ම පුංචා
අම්මගෙන් මෙසේ ඇසී
ය.
"අම්මෙ,
ඇයි මිනිස්සු මල් පූජා කරන්නෙ?
"
"බුදු
හාමුදුරුවන්ට තියන ගෞරවය නිසානෙ පුතේ"
"ඉතිං ඒක පෙන්නන්න මල්
පූජා කරන්නම ඕනද?"
"අපේ ජීවිතෙත් මලක් වගේ
ම පරවෙලා යනවා කියලා තේරුම්ගන්න තමයි මල් පූජා කරන්නෙ.
ඇයි පුතාට ගාථාව කටපාඩං නෙ?
"
"ඔව්, ඉතිං ඒකට මල් පූජා කරන්න ම ඕනද?"
"පුතා අහන දේ මට
තේරෙන්නෙ නෑ"
"අපිට හිතින් හිතලා,
ඒක තේරුම්ගන්න බැරිද?
"
"මොකද්ද?"
"මලක් වගේ අපිත් දවසක
මැරෙනවා කියලා"
"පුළුවන්.
ඒත් වැඩියෙන් හොඳට ජීවිතේ අනිත්‍යය යි කියලා
තේරුම්ගන්නනෙ මල් පූජා කරන්නෙ"
"පූජේමි බුද්ධං කුසුමේන නේන...."
අම්මා මල් පූජා කරන ගාථාව තාලෙට කීවා ය.
"ඉතිං අම්මේ,
ගස්වල ලස්සනට පිපිලා ඉන්න මල් අපි කඩලා,
ඒවා පරවෙන කාලෙ ඉක්මන් කරලා,
අපේ ජීවිතේ ඒ වගේ කියලා හිතන එක ආර්තමාර්තකාමී නැද්ද?
ආ අම්මේ?"
"ආර්තමාර්තකාමී නෙමෙයි,
ආත්මාර්ථකාමී. කෝ
හරියට කියන්න."
පුතාගෙ කතාවෙ තර්කය බිඳින්න වචන නැති
අම්මා කීවා ය.
"ආර්තමාර්තකාමී.
ආ අම්මෙ,
කියන්නකෝ? "
"පණ්ඩිතකම පැත්තකින්
තියෙද්දි ඔය කිරි එක බීලා ඉන්න"
එක හුස්මට කිරි එක බිව්ව පුංචා ආයෙත්
මෙසේ ඇසී ය.
"අම්මෙ මං ආසම මල
මොකද්ද?"
"මොකද්ද කියන්න බලන්න
පුතා ආසම මල?"
"මං ආසම ඇට්ටේරියා මලටනෙ"
"ඇයි ඒ?"
" ඒවා පූජා කරන්න
බෑනෙ"
"ඇයි බැරි?"
"පෙති හැලෙනවනෙ අම්මෙ
ටක් ගාලා. ඉතිං ඒ මල් එයාලගෙ
ජීවිත කාලෙම සතුටින් ගහේ පිපිලා ඉඳලා ගහටම පෝර වෙනවා"
පුතණ්ඩියා කියන කතාවේ ඇත්තක් නොතේරෙනවාට
නොවෙයි, ඒ
ඇත්ත පිළිගන්න තියන බය නිසා අම්මා මෙසේ කීය.
" ඒ පණ්ඩිතකම්වලින් වැඩක් නෑ, අපේ දහමෙ කියලා තියන හැටියකට අපි වැඩ කරමු. ඕං අත්තම්මගෙන් එහෙම ඕවා අහනවා එහෙම නෙවෙයි, තේරුණාද? මටත් එක්ක බැනුම් අහන්න වෙයි.
මිදුල කොනේ ඇට්ටේරියා ගහ යටට ගිය පුංචා ඔහුගේ
පුංචි හිතට එන හැම දේම ඇට්ටේරියා මල් එක්ක කියන්න පුරුදු උනේ මෙන්න මෙදා
ඉඳල යි.
රෑ බෝවෙනකොට ඇට්ටේරියා ගහ අපූරු ලෝකයක්
මවයි. ඇට්ටේරියා
මල් හරී ම සුවඳ යි.
රෑ සලඹයො, රැහැයියො,
තව නා නා විද පුංචි ඉගිලෙන සත්තු මේ සුවඳට ඇදී එනවා.
පුංචි පෙති පහේ සියුමැලි සුදු මල්වලින්
ඇට්ටේරියා ගහ හිනැහෙද්දී, මල්
පෙති බිම ඉහිරෙන්නේ, ඒ
සතුට දසත පතුරුවන්නාක් මෙනි.
ගහ මුල ඉඳන් ඉන්න පුංචා ඔඩොක්කුවට වැටෙන මල්පෙති නාහෙට ළං කර සුවඳ බලයි. ඉන් ඔහුගේ පුංචි හිතට දැනෙන්නේ පුදුමාකාර ආස්වාදයකි.
බුමුතුරුණක්
සේ ඉහිරී ඇති
සුදු මල් පෙති අතරින් ලුමිනස්
පාටට එළි විහිදුවමින් යන රෑ බදුල්ලෝ,
කුරුමිනියන් අල්ලාගන්නට ඇවිත්,
ඔළුවේ ගෑවි නොගෑවි වේගෙන් පියඹන කිරි වව්ලෝ,
සහ රැහැයියෝ පුංචගෙයි ඇට්ටේරියා මල්වලයි කතාබහට
ඇහුම්කන් දුන් ප්‍රේක්ෂකයෝ වූහ.
තනිපංගලමේ,
ගොම්මනේ ඇට්ටේරියා
ගහ යටට වී
පුංචා ඉන්න එක
ගැන නම් අම්මයි අත්තම්මයි
එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ
මදිවට වවුලො ගැන කුරුමිනියො ගැන තව... රෑ
බදුල්ලො ගැන පුංචා අහන ප්‍රශ්නවලට අම්මට කට
උත්තර නැතිවුණ වාරත් අනන්තයි.
දවසක් පුංචා ඉස්කෝලේ ගිය දවසක,
පන්සලේ ලොකු හාමුදුරුවෝ පුංචලගෙ ගෙදෙට්ට වැඩම කළහ.
පුංචලගේ ගෙදර ඉස්සරහ
මිදුල දිහා බලන් හිටි ලොකු හාමුදුරුවෝ මෙසේ
කීහ.
"මෙච්චර අගේ මිදුල්
පොඩ්ඩකුත් තියන එකේ, හොඳ
නැද්ද පොඩි
බුදුමැදුරක් හැදුවොත්? "
ඒ ඇසූ අම්මයි අත්තම්මයි මූණට මූණ
බලාගත්තේ සතුටිණි.
"පුංචලගෙ අප්පච්චි ඉන්න
කාලෙ නම් එහෙම අදහසක් තිබ්බා." අම්මා
කී ය.
"අපි බුදුමැදුරක් හදමු
දුවේ. මං
ඉතුරු කරපු කීයක් හරි එහෙම දේකට වියදම් කරන්න ඇත්ත්ම්,
මට හිතේ සැනසීමෙන් මැරෙන්න පුළුවන්."
අත්තම්මා කීවාය.
"එහෙනම් අපි ඒ වැඩේට අත
ගහමු" අම්මා
ද එකඟ විය.
"පන්සලෙන් වෙන්න ඕන
උදව්වක් තියේ නම්, මට
දන්නලා පණිවිඩයක් එවන්නකො උපාසක අම්මේ,
එහෙනම් මන් ගිහිං එන්නම්"
යි පැවසූහ.
"එහෙමයි අපෙ
හාමුදුරුවනේ"යි පැවසූ අම්මාත් අත්තම්මාත් හාමුදුරුවන් වැඳ,
කඩුල්ල තෙක් හාමුදුරුවන් සමඟ ගියෝ ය.
අම්මාත් අත්තම්මාත් වෙනදාට වඩා ලොකු
උනන්දුවකින් තම මිදුල දෙස බලන්නට වූහ.
"දුවේ අර ඇට්ටේරියා ගහ තියෙන
තැන බුදුමැදුරකට පංකාදු තැන නෙවෙයි ද?"
අනේ ඔව් අම්මේ මාත් මේ ඒ ගැන හිතුවා
විතරයි, එතනට බුදුමැදුරක් අගේට
හරියාවි"
ඕං ඔහොම පුංචා ඉස්කෝලෙ ඇරිලා ගෙදර එනකොට
ඇට්ටේරියා ගහ
කැපීම තීන්දු වී තිබුණි.
මේ කිසිවක් නොදත් පුංචා ඇට්ටේරියා මල් එක්ක කතාකරන අන්තිම දවස එදා යැයි නොදැන ගහ යටින් පුරුදු පරිදි වාඩි විය. ගස මල් පෙති සළා සිනාසී පුංචා ව ආදරයෙන් පිළිගත්තේ ය.
පහුවදා ඉස්කෝලෙ ඇරී ගෙදර ආ පුංචා කඩුල්ලට
උඩින් පනිනවාත් සමඟ දුටු දර්ශනයෙන් ගල්ගැසුණේ
ය.
ඇට්ටේරියා ගහ කදින් වෙන්වී බිම දිගා වී
සිටියේ ය.
ඉකියක්
සමඟ පපුව හිරවෙන්නාක් මෙන් දැනුණු පුංචා
තම බොඳ වූ දෑසින් අම්මා සහ අත්තම්මාගේ සිනහ මුහුණු දිටීය.
* *
*
ජිනාති
ඒකනායක
Comments
Post a Comment