අද වෙනවෙනදාටත් වඩා කරුවලයි . ගඟ ඉහැත්තෑවේ රූස්ස කැලේ අමුතු කොළපාටක් ඇඟ ලා ගෙන ය. වැහි කළුවට ගස්වලින් දිස් වන ඒ ගුප්ත තද කොළ පැහැය දෙස ඔහේ බලා සිටීමෙන්, සිතට අමුතු හැඟීමක් ගෙන එයි. ලා හුළඟක් හැමුවත්, ඒ ඇඟට පතට නොදැනී ය. හිත නරක් වූ අහස, කොයි වෙලේ හඬා වැටේ දෝ නොදැන තව තවත් කළු වළාවන් තුරුළු කරගන්නේ, හැඬීමට උදව් දෙන්නට නරක සිතිවිලි එක්කාසු කරන්නාක් මෙනි. බාගෙට තෙත අපේ ඇඳුම් උහුලං ඉන්නා රෙදිවැල, ඒ බරින් අදවත් නිදහස් වේ දෝයි දැනගැනීමට මෙන් මා දෙස බලා සිටියි. ටික දොහක පටන් ඒ රෙදි ඔහේ තෙමෙන්නට හැර දමා තිබේ. දැන් අහසේ දුක රෙදිවැලට ද බරක් වී ඇති සෙයකි. කෝපි කෝප්පයක් වක්කරන්න දැයි අසාගෙන අම්මා ආවෙන්, රෙදිවැල මට අතවනනවා දැයි සිතූ සිතිවිලි දැහැන බිඳ වැටුණි. හා යැයි අම්මාට කියූ මා, වත්ත පහළට ඇදුණේ දිග ලණුවක් සොයාගැනීමට ය. එහි ඇති මඩුවේ වහලය ඉදිරියට නැමී තිබුණෙන්, එය නොතෙමී ඉන්නට හොඳ තිප්පොලකි. එහි පොළු අතර ලණුව ගැටගසා රෙදිවැල දවස් ගානක බරින් නිදහස් කළ මම, කෝපි කෝප්පය තොලගාන්නට වීමි.