Posts

කළුවර දවසක්

Image
අද වෙනවෙනදාටත් වඩා කරුවලයි . ගඟ ඉහැත්තෑවේ රූස්ස කැලේ අමුතු කොළපාටක් ඇඟ ලා ගෙන ය. වැහි කළුවට ගස්වලින් දිස් වන ඒ ගුප්ත තද කොළ පැහැය දෙස ඔහේ බලා සිටීමෙන්, සිතට අමුතු හැඟීමක් ගෙන එයි. ලා හුළඟක් හැමුවත්, ඒ ඇඟට පතට නොදැනී ය. හිත නරක් වූ අහස, කොයි වෙලේ හඬා වැටේ දෝ නොදැන තව තවත් කළු වළාවන් තුරුළු කරගන්නේ, හැඬීමට උදව් දෙන්නට නරක සිතිවිලි එක්කාසු කරන්නාක් මෙනි. බාගෙට තෙත අපේ ඇඳුම් උහුලං ඉන්නා රෙදිවැල, ඒ බරින් අදවත් නිදහස් වේ දෝයි දැනගැනීමට මෙන් මා දෙස බලා සිටියි. ටික දොහක පටන් ඒ රෙදි ඔහේ තෙමෙන්නට හැර දමා තිබේ. දැන් අහසේ දුක රෙදිවැලට ද බරක් වී ඇති සෙයකි.  කෝපි කෝප්පයක් වක්කරන්න දැයි අසාගෙන අම්මා ආවෙන්, රෙදිවැල මට අතවනනවා දැයි සිතූ සිතිවිලි දැහැන බිඳ වැටුණි. හා යැයි අම්මාට කියූ මා, වත්ත පහළට ඇදුණේ දිග ලණුවක් සොයාගැනීමට ය. එහි ඇති මඩුවේ වහලය ඉදිරියට නැමී තිබුණෙන්, එය නොතෙමී ඉන්නට හොඳ තිප්පොලකි. එහි පොළු අතර ලණුව ගැටගසා රෙදිවැල දවස් ගානක බරින් නිදහස් කළ මම, කෝපි කෝප්පය තොලගාන්නට වීමි.

සරා සඳ

Image
සරා              සඳේ  රැයේ           මැදේ ගලා           හැලේ නෙළුම්       විලේ සුදු        නෙළුමේ ඔබේ          ගතේ සඳ           දැවටේ රනින්           දිළේ මද          සුළඟේ වළා            කුළේ සඳ          හැංගේ දැන්  නොපෙනේ       සුදු        නෙළුමේ  ඔබේ          වතේ වන්       කැලුමේ අගය         දැනේ    

ජීවිත

Image
ඈත අහසේ කැඩී ගිය නූල සොයන සරුංගලයක් නෑ නෑ  ඒ වැහිළිහිණියෙක් වැස්සක සුවඳ සොයා පා වෙලා යයි විදුලි රේඛාවලින් තැතිගත් සමනළයෙක් හිමින් සීරුවේ  පොළවට සේන්දු වෙයි නෑ නෑ ඒ වැටෙන කොළයක් එය සකල සතුනට ජීවන සුසුම් ලැබ දී යළිත් ගසට ම  පෝර වීමේ තුටින් උද්දාම රංගනයක  කෙළවර සැනසිල්ලේ ගස මුල සැතපෙයි සැනෙකින්  තෙත බී සැනහෙන පිපාසිත   මහපොළොව  නැවුම් සුවඳකින් පෙරළා අහසට තුති පුදයි

නිදහස් මලක්

Image
දිටිමි මලක් පර වී යන ඇසිණි කොඳුරනු එමල " සබඳ, මග හැරියෙමි මම මිනිස් දෑඟිලි තුඩු ලැබීම පිණිස  ඔබට ම පොහොර වීමේ අසිරිය "

මොර ගස

Image
මොර ගස ඵල නොදරා ම බිමට බර වී නිදයි ගොස්  බැ ලුවෙමි ළඟට සෑම කොළයක ම කඳුලක් මතක් වුනි මට පෙර දා වට  මොර සූරණ  වැස්ස